hussain

"හොඳ ප‍්‍රධානියෙකු සෑම විටම ඔවුන්ගේ සේවකයන්ට ඒත්තු ගන්වන්නේ, ඔවුන් සිතනවාට වඩා වැඩි හැකියාවක් ඔවුන් සතු වන බවයි. එවිට ඔවුන් සිතුවාටත් වඩා හොඳින් වැඩ කරනු ලැබේ.”
- චාර්ල්ස් අර්වින් විල්සන්-

 

 

ඉමහත් කෞෂල්‍යයකින් හෙබි මහත්මා ගුණයෙන් සන්නද්ධ පුද්ගලයෙක් ලෙස වී.හුසෙන් මහතා වෙත පැවරෙන යනු සෑම රාජකාරී කටයුත්තක්ම ඉතා කාර්යක්ෂමව හා විශ්වාසනීයව ඉටු කරන ඉතා විශිෂ්ට රාජ්‍ය සේවකයකි.

වර්ෂ 1957 ඔක්තෝබර් 10 වන දින උපත ලද වෙල්ලතම්බි හුසෙන් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාණිජ උපාධිධාරියෙකි. ඉන්දියාවේ මදුරායි කාමරාජ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද හැදැරූ ඔහු වෘත්තීය සුදුසුකම් අතින් ද ඉතා ඉහළ තලයක සිටින නිළධාරියෙකි.

1979 වර්ෂයේ දී මාණ්ඩලික සහකාර ලෙස මහනුවර ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් තම වෘත්තීය ගමන ඇරඹු වී.හුසෙන් මහතා එහි කලින් කලට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබූ ණය ගෙවීම්, ඉතිරි කිරීමේ සහතික නිකුත් කිරීම, රක්ෂණ ක‍්‍රමය සහ අනෙකුත් ඉතිරි කිරීම් ආදී බොහෝ කටයුතු අධීක්ෂණය කරන ලදී. වසර 6 ක කාලයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි සේවය කිරීමෙන් අනතුරුව වර්ෂ 1985 දී පැරාමවුන්ටන් නැව් සමාගමට සේවය ලබා දුන් ඔහු එහි දී අනාගත ප‍්‍රතිපත්ති සැළසුම් කිරීම, සහ මූල්‍ය කටයුතු සඳහා සහාය වීම, කාර්ය සාධනය පාලනය කිරීම ආදී කටයුතු රාශියක් සිදු කර ඇත. එමෙන්ම සංවිධානාත්මක කටයුතු වලදී ද, ව්‍යාපාර උපාය සම්බන්ධ ගැටලූ වලට විසඳුම් ලබා දීමේදී සේවකයන් උන්නදු කිරීමේ සහ සම්බන්ධිකරණය කටයුතු සඳහා ද ඔහුගේ සේවය නොපිරිහෙළා ලබා දී ඇත.

ස්වකීය නිලධාරියා පුනරුත්ථාපන අධිකාරිය හා එක්වන්නේ 1998 ජනවාරි 01 වන දින සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙසය. මෙහිදී ඔහු විවිධ විෂයන් සඳහා අනුයුක්ත කරන ලද අතර සාමාන්‍ය පරිපාලනය, රාජ්‍ය සේවකයින් සඳහා වන්දි ලබා දීම, බලවත් සේ විපතට පත් වූවන් සඳහා වන්දි ලබා දීම, දේශපාලන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතුළු විිවිධාකාරයේ විෂයයන් වෙනුවෙන් වසර 20ක් වැනි දිගු කාලයක් ඔහුගේ සේවය ඉතා විශිෂ්ට අන්දමින් පුනරුත්ථාපන අධිකාරියට ලබා දී ඇත. සෑම සුබ සාධන කටයුත්තක දීම ප‍්‍රධානත්වය ගෙන කටයුතු කළ වී.හුසේන් මහතා තමාට පැවරෙන සෑම වගකීමක් ම ඉතා දක්ෂ ලෙස ඉටු කළ ඉතා විශිෂ්ඨ ගණයේ රාජ්‍ය සේවකයෙක් ලෙස හැඳින්විය හැකිය.

මේ අයුරින් පුනරුත්ථාපන අධිකාරිය වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කළ වී.හුසේන් මහතා 2017 ඔක්තෝබර් 10 වන දින සේවයෙන් විශ‍්‍රාම ලැබු අතර, ඔහු අප අධිකාරියට ලබා දුන් විශිෂ්ඨ සේවය සැමදා අගය කළ යුතු අතර නිහතමානී හා මහත්මාගුණයෙන් පරිපුර්ණ නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ලැබීමට ඔහු ලැබු ශක්‍යතාව රාජ්‍ය සේවයට ම ආදර්ශයකි.

 

පුනරුත්ථාපන අධිකාරියේ කලක් සේවය කොට මේ වන විට විශ්‍රාම ගොස් සිටින හා වෙනත් සේවා ස්ථාන වලට ස්ථාන මාරුවීම් ලබා සිටින නිලධාරීන් 06 දෙනෙකු වෙනුවෙන් සේවා ප්‍රණාම උළෙලක් 2017.10.26 වන දින ප.ව 1.30 සිට 4.30 දක්වා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පුනරුත්ථාපන අධිකාරියේ සුභසාධක සංගමය විසින් ආයතනයේ සියලූම සේවක මහත්ම මහත්මින්ගේද අනුග්‍රහය මත, සංවිධානය කරනු ලබන මෙම උත්සවයේදී පහත නම් සදහන් නිලධාරී මහත්ම මහත්මින් විසින් ඉටු කරනු ලැබුවාවූ සේවාව මෙහිදී ඇගයීමට ලක් කෙරේ:

  • වී. හුසේන් මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ)
  • ඊ.ඒ. සමරසිංහ මහතා (හිටපු සභාපති)
  • ඩී.කේ. ජිනදාස මහතා (හිටපු කි්‍රයාකාරී අධ්‍යක්ෂ)
  • එස්. ගනේෂදාස් මහතා (පුනරුත්ථාපන සහකාර)
  • අංජලී උර්ෂුලා නවරත්න මහත්මිය (භාෂා පරිවර්තක)
  • ගයානි රාජනායක මහත්මිය (පුනරුත්ථාපන සහකාර)

2017.10.21 දින අතිගරු ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් වව්නියාවේ සිවපිරහාස මහා විද්‍යාලයේ (Siva Pirahasa Maha Vidyalaya) පැවති ජනපති නිල මෙහෙවර ජංගම සේවාවේදී, යුධමය තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 09 ක් හා තුවාල ලැබු එක් පුද්ගලයෙකු වෙනුවෙන් රු. 950,000.00 ක මුදලක් ගෙවීම් කිරීමට කටයුතු කෙරුණි.

මීට අමතරව විනාශ වූ පූජනීය ස්ථාන 09 ක් ප්‍රතිසංස්කරණය සදහා රුපියල් මිලියන 1.6 ක මුදලක් ද මෙහිදී ප්‍රදානය කෙරුණි.

2012.11.09 දින වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්වයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය 2017.10.25 වන දින පෙ.ව 11.00 ට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ගරු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වේ.

මෙහිදී මියගිය පුද්ගලයන් 04 හා තුවාල ලැබු පුද්ගලයන් 02 නෙකු වෙනුවෙන් රුපියල් මිලියන 09 ක මුදලක චෙක්පත් ප්‍රදානය කිරීමට නියමිතය.

ඒ අනුව මේ වන විට පුනරුත්ථාපන අධිකාරිය ඉහත සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 10 දෙනෙකු වෙනුවෙන් හා තුවාල ලැබූ පුද්ගලයන් 05 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 22.5 ක මුදලක් වන්දි වශයෙන් ගෙවීම් කොට ඇත.